හෙළ බස යනු අතිශය සුඛනම්‍ය, සුගම බසකි. ලෝකයේ ඕනෑම බසකින් සැකසී ඇති නාමයකට සමාන ශබ්දෝක්ති සහිත නාමයක් හෙළ බසින් නිර්මාණය කළ හැකිව ඇත.
ඉකුත් වකවානුව තුළ, මව්පියන් බටහිර උරුව ගත් නාමයන් කෙරෙහි උත්සුක වන බව පෙනෙන්නට තිබිණ. උත්පත්තිය යන නිරුක්ති දෙන, යෝන් යන ප්‍රත්‍ය මුල් කොටගෙන, එලෙස නිර්මාණය වූ බටහිර උරුව රැගත් නාමයන් රැසක් දැකගත හැක. අයෝන්,නෙයෝන්, මියෝන්, ලියෝන්, දියෝන්, රියෝන්, ඩියෝන්. සෙයෝන්, ලෙයෝන්, ඉයෝන්, ටියෝන්, ජියෝන් යනු ඉන් කිහිපයකි. හෙළිවීම යන නිරුක්තිය දෙන හේන් යන ප්‍රත්‍ය මුල් කොටගෙනද එවැනි නාමයන් රැසක් බිහි විය. මිහේන්, ටිහේන්, ඩිහේන්, රිහේන්, යුහේන්, සිහේන්, නිහේන්, විහේන්, ෂිහේන්, ගිහේන්, චිහේන් යනු ඉන් කිහිපයකි. මේ ආකාරයටම තවත් විවිධ නිරුක්ති මුල් වෙමින් බිහි වී ඇති, තුයෝන්, තුමෝන්, ලිමෝන්, ලෙවින්, නෙකිත්, ලිනෙව්, බිනෙව්, කෙනාල්, ෂෙනාල්, මෙනාල් වැනි නාමයන්ද උක්ත කුලයකටම අයත් වේ. මෙම නාමයන්ගේ ස්ත්‍රීවාචි නාම පදද ඒ ආකාරයෙන්ම යෙදේ. මින් ඇතැම් නාම සෘජුවම ඉංග්‍රීසි ව්‍යවහාරය තුළින් හෙළ වහරට එක් වූ ඒවා බව පෙනේ. ඇතැම් නාම, හෙළ නිරුක්ති මුල්කොට අලුතින් නිර්මාණය කළ ඒවා බව පෙනේ. මීට අමතරව තවත් බොහෝ නාම ප්‍රත්‍ය, නාම නිරුක්ති මුල් කරගෙන, බටහිර උරුව රැගත් හෙළ නාමයන් නිර්මාණය කළ හැකි ය.
පැරණි හෙළ සමාජය තුළද, බටහිර නම්ගොත් කෙරෙහි උනන්දුවක් පැවැති බව දැකිය හැක. ඒ ඉංග්‍රීසින්ගේ යටත්විජිතවාදය නිසා මෙරට සමාජයේ ඇති වූ චින්තන විපරීතය නිසා ඇති වූ වෙනසයි.
ආරොන්, බාරෝන්, සිමෝන්, සාමල්, රේඩින්, ජෝන්, ආතර්, දාවිත්, ජේමිස්, ඇක්මන්, ජූඩ්, සීමන්, විලියම්, ඇල්බට්, ජේාර්ජ්, ජොහාන් යන නාම, සෘජුවම ඉංග්‍රිසි වහරින් හෙළ වහරට එක්වූ ඒවා ය. නමුත් හෙළ වහරේදී මෙම ඇතැම් නාමයන්, හෙළ වහරට අනුගත අන්දමින් අනුවර්තනය කරගත් අවස්ථා දක්නට හැකි ය.
පොහැන්නස් යනු ඉංග්‍රීසි නාමයයි. එය හෙළ වහරට මුලින්ම එක්වන්නේ මධ්‍යම පාන්තිකයන් අතරයි. ඒ ජොහාන් ලෙසයි. එය හෙළ ගැමියා අතරට යන්නේ ජොහානිස් ලෙසයි. එපමණකින්ද නතර නොවෙයි. තවත් කොටසක් ඈඳා ඊට ජොහානිස් අප්පුහාමි ලෙසද වහරට එක්වෙයි. අලිසන්දර අප්පුහාමි, සිමොන් අප්පුහාමි, ගිරිගෝරිස් අප්පුහාමි යනු එසේ සකස් වූ හෙළ නම් කිහිපයකි.
හින්දි වැනි භාෂා ව්‍යවහාරයන් තුළින් හෙළ වහරට එක්වූ නාමන්ද බොහෝ ප්‍රමාණයක් දැකිය හැක. රාණි, ලතා, යමුණා, ආශා, ලලිතා, ක්‍රිෂ්ණා, රාධා, රාමා, කමලා, පද්මා, ලක්ෂ්මන්, ශාන්ති, රාජා වැනි පැරණි නාමයන්ට අතිරේකව, ඔගීනා, ඔවීනා, විණා, එවීණා, ඔමීනා, අභිෂේකා, අභිෂේක්, අයාල්, ලවන්‍යා, ලාවන්‍යා, දිව්‍යා, දිව්‍යංකා, ශ්වේතා, ශිවන්යා, රන්දීර්, අයෝද්, ආකාෂ්, ගගන්, විකාශ්, විවේක්, ආරධ්‍යා, රාහුල්, පවන්, රිතික් වැනි නව තාලයේ නාමයන්ද ඒ අතර වෙයි. ඇතැම් හින්දි නාමයන්ගේ අර්ථයන් ගැන හෙළයන්ට ගැටළුවක් පැන නොනඟියි. ඊට හේතුව, ඇතැම් හින්දි පදවල අර්ථයන්ද, හෙළ පදයේම අර්ථය වන නිසා ය. එවැනි වාතාවරණයකට ඉඩ සැලසී ඇත්තේ, පශ්චාත් හෙළ වහරට සංස්කෘත භාෂාවේ ආභාසය හිමිවීම නිසා ය. සංස්කෘත යන හින්දි සහ සිංහල යන භාෂා දෙකටම පොදුවේ බලපෑ භාෂාවකි.