Special Service

Official web

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

Our Service

Saturday, July 9, 2016

නාමකරණයේ මිථ්‍යාව හා යථාර්ථය (නුවණින් විමසනු පිණිසයි)

අලුත උපන් තම ආදරණීය බිළිඳාට නම් තබා ගැනීම සඳහා, විවිධ අයවලුන් දිනපතා අප වෙත ඇමතුම් ලබාදෙයි. ඇතැමෙකු තම දරුවාට නම් තැබීම පිළිබඳ විවිධ භීතිකාවන්ගෙන් පෙළෙන බවද දක්නට ලැබෙයි. ඊට හේතුව විවිධ ජ්‍යෝතීර්වේදීන් නම් තැබීම පිළිබඳ ඔවුන් වෙත පෙන්වා දී ඇති කරුණුයි.
ඇතැම්විට, අලංකාර නාමයක් සැකසීමට අවශ්‍ය සුඛනම්‍ය ජන්ම අක්ෂර තිබියදි, ජ්‍යෝතීර්වේදීන් පෙන්වා දෙන දුෂ්කර අක්ෂරම (පු / හු / කු / ජු වැනි අක්ෂර) මුල් කොට නම් තබන ලෙස ඇතැම් මව්පියෝ අපගෙන් බලවත් ඉල්ලීම් කරති. යම් දුරකට අප සත්‍යය පහදා දුන්නද, ඉන් ඵලක් නොවන අවස්ථා වෙයි. ඊට හේතුව අදාළ නැකැත් පාදයට ඇති අක්ෂරයෙන් නම නොතැබුවහොත්, දරුවාට විපත් පැමිණෙන බවට ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබීමයි.  සත්‍යය එයද ?
මේ කරුණු මා ඔබට පෙන්වා දෙන්නේ, හුදෙක් සත්‍යය පෙන්වාදීම උදෙසා ය.
ඇත්තෙන්ම, නාමකරණය සම්බන්ධයෙන් පිළිගත හැකි සත්‍යය කුමක්ද ? පහත කරුණු ඔබේ නුවණින්ම විමසා බලන්න.‍
බොහෝ දෙමව්පියන් තම දරුවන්ට “අ” අක්ෂරයෙන් නම තැබීමට බිය වෙති. ඒ කුමක් නිසාද ? “අ”යනු අපාය අක්ෂරයක් යැයි පැවසෙන හෙයිනි. එනම්, අ යන්නෙන් නම් තැබූ විට, දරුවාට අපල අත්වන බව, කවුරුන් හෝ කොතැන හෝ කියා ඇති හෙයිනි. එසේ පැවසෙන්නේ කොතැනදැයි දැන් සොයා බැලිය යුතු ය.
නාමකරණය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු අක්ෂර පිළිබඳ සඳහන් වන්නේ සිදත් සඟරාව නම් කෘතියෙහි ය. 13 වන සියවසේ දෙවන පැරකුම් රජ කාලයේ, දේවපතිරාජ පරිවෙණාධිපති හිමියන් විසින් මෙය රචනා කරන ලදැයි සැලකේ. එහි පෙන්වාදෙන පරිදි, සෙත් කවි කරණය, ග්‍රන්ථකරණය, නාමකරණය, කාව්‍යකරණය, වෘත්තබන්ධ කාව්‍යකරණය ආදි කටයුතුවලදී, ගණ පිහිටුවීම කළ යුතු වෙයි.
සිදතේ දැක්වෙන පරිදි ”තියකුරු ගණින්” නම් වෙයි. එනම් ගණයකට ලඝු අක්ෂරර 3 හෝ ගුරු අක්ෂ්ර 3 ක් තිබිය යුතුය.
යම් අක්ෂරයක් ඇදෙන්නෙ නැතිව යෙදෙන විට එය ලඝු අක්ෂරයකි. එනම් ස්වර අකුරක් හෝ ව්‍යංජන අකුරක් මෙසේ ලඝු අකුරක් විය හැකිය.
ස්වර අක්ෂ්රයක් හෝ ව්‍යංජන අක්ෂරයක් ඇදේ නම් එය ගුරු අක්ෂරයකි. ගණ පිහිටුවන ආකාරය ගැන, ‘එළු සදැස් ලකුණ” යන සුවිශේෂ සාහිත්‍ය ග්‍රන්ථයේ පහත ශ්ලෝකය මඟින්ද ඒ බව අන්තර්ගත කර ඇත.
ගුරු යට – ලුහුකර – පෙරසේම – සෙස් අදහේ
ගුරෙන් පුරා ලුහුතැන් සමුලෝ විරිත් දක්වා
එබැවින් මෙය අපගේ පහසු සඳහා ම ය ර ස ත ජ බ න යනුවෙන් වර්ග කළ හැකියි. එය තවදුරටත් විග්‍රහ කළහොත් මෙසේය.
1. ”ම” ගණය
මෙය භූමි ගණ වෙයි. මෙම ගණයෙන් නමක් යෙදූවිට සියලු ජය ලැබේ. එය ප්‍රස්ථාර ගතකරනුයේ ”උඋඋ” සලකුණ මඟිනි. (මෙහි ගුරු අක්ෂ ර 3කි)
2. ”ය” ගණය
මෙය ජල ගණ වෙයි. මෙම ගණයෙන් නමක් යෙදූ විට අභිවෘද්ධිය, ධෛර්යය, ආයුෂ වෙයි. එය ප්‍රස්ථාරගත කරනුයේ ”_උඋ” සලකුණ මඟිනි. (මෙහි මුල ලඝු අග දෙගුරු වෙයි.)
3. ”ර” ගණය
මෙය ගිනි ගණ වෙයි. මෙම ගණයේ ප්‍රතිඵල වනුයේ ශෝක, මරණ, අනතුරු දුක් කම්කටොලු. එය ප්‍රස්ථාරගත කරනුයේ ”උ-උ” සලකුණ මඟිනි. (මෙහි දෙකොණ ගුරු මැද ලඝු වෙයි.)
යනාදි වශයෙන් ගණ ශාස්ත්‍රය පිළිබඳ සිදත් සඟරාවෙන් හා එළු සඳැස් ලකුණෙන් උපුටාගත් කරුණු විවිධ පතපොතෙහි දැක්වෙයි.
සිදතෙ දැක්වෙන ආකාරයට නාමකරණය සඳහා වන අක්ෂර 3 න් ආකාරයකි.
1. අපාය අක්ෂර –
එ ක ධ ම ර ජ අ ණ න ළ අං
2. මනුෂ්‍ය අක්ෂර –
උ ප බ ග හ
3. දිව්‍ය අක්ෂර –
ඉ ඔ ට ඩ ත ද ල ව ස
තව ”කචන්යම සතර වග” : ලුහුසරවේය
දෙවිගනි කිවිමිණි මාලාවේ එන මෙම පාඨය අනුව නාම අක්ෂර වර්ග එම කතුවරයා සිදත් කතුවරයාට වඩා වෙනස් ආකාරයකට දක්වයි. අපාය, දිව්‍ය, මනුෂ්‍ය අක්ෂරවලට, අමතරව තිරිසන් අක්ෂර 6ක්ද දක්වා ඇත.
නිරාගති (අපාය අක්ෂර) –
ට, ඨ, ඪ, ඩ
දෙවිගනි (දිව්‍ය අක්ෂර) –
අ, ඉ, උ, එ, ඔ, ක, ග, ච,
ඡ, ත, ද, ප, බ
නරගනි (මනුෂ්‍ය අක්ෂර) –
අ, ඊ, ඌ, එ, ඕ, ඩ, ඤ,
ණ, න, ම
තිරිසන් ගති අක්ෂර –
ස, හ, ය, ර, ල, ව
එසේම මේ ආකාරයට, විවිධ ජ්‍යෝතීර්වේදීන්ද උපන් නැකැත්, තවදුරටත් විග්‍රහ කරමින්, විවිධ දුෂ්කර ජන්ම අක්ෂර ලබා දෙන අවස්ථා වෙයි.
ඉහත තොරතුරු මා ඔබට එසේ ඉදිරිපත් කළේ සත්‍යය විමසනු පිණිස ය. නුවණින් විමසා බලන්න.
භාෂාවක අදහස් ප්‍රකාශ කිරීමට ඇති අක්ෂර, නාමකරණයේදී මෙසේ අපාය, දිව්‍ය, මනුෂ්‍ය අක්ෂර යනුවෙන් ප්‍රභේද කළ හැකිද ? එහි පදනම කුමක්ද ?
එහි අදහස එම අක්ෂරවලින් නම් තැබූ විට, මිනිසුන් අපායේ යන බවද ? දිව්‍ය ලෝකේ යන බවද ? නොඑසේනම් බ්‍රහ්ම ලෝකයේ යන බවද ?
දිව්‍ය අක්ෂරවලින් නම තබා ඇති අයෙකු දස අකුසලයේ නිරත වේ නම්, ඔහු අපායෙන් ගලවාගත හැකිද ? නමෙන් ඔහුට රැකවරණයක් ඇද්ද ? අපාය අක්ෂර වලින් නම තබා ඇති අයෙකු දස කුසලයේ නිරත වුවහොත්, ඔහුව අපායේ හෙළිය හැකිද ? නම නිසා ඔහුව අපායට ඇද වැටෙන්නේද ? මිනිසුන් බ්‍රහ්මයන් වී උපදින්නේ නමට බ්‍රහ්ම අක්ෂර ඇති නිසාද ?
නමින් බුද්ධදාසලා මාළු බානවා මා දැක ඇත. නමින් ධර්මදාසලා ධර්මයට ගරහනයුරු මා දැක ඇත. ඔබද එවැනි අවස්ථා දැක ඇතුවාට සැක නැත.
ඒ ඒ පුද්ගලයාගේ දෛවය තීරණය වී ඇත්තේ නාමය නිසාද ? නමේ අක්ෂර වෙනස් කිරීමෙන් පුද්ගලයාගේ දෛවය වෙනස් කළ හැකිද ? නමක ගණය වෙනස් වීමෙන් පුද්ගලයාගේ දෛවය වෙනස්වනවාද ? එසේ කළ අයෙකු ලෝකයේ කොතැන හෝ සිටිනවාද ? එසේනම් පුද්ගලයාට බලපාන කර්මය, කර්ම විපාක, මෙවැනි ලෞකික විද්‍යාවන්ගේ බලයෙන් වෙනස් කළ හැකි විය යුතු ය. මේ සියල්ල අවිචාරයේ අඳුර තුළ ගිලීගිය පසුකාලීන සමාජය හා එක්වූ හරසුන් බමුණු සංස්කෘත මතවාද මිස සත්‍යය නොවේ.
අනෙක් අතට, ඉහත අපාය අක්ෂර මුල් කොට නමක් සැකසීමෙන් කෙනෙකු වැනසී යන බව පවසනවා නම්, එම අක්ෂර වලින් නම තැබූ සියල්ලන්ම එසේ වැනසී යා යුතු ය. සියල්ලන්ටම නම නිසා එසේ අපල උපද්‍රව පැමිණිය යුතු ය. එසේ සිදුවනවාද ? එසේ සිදුවී ඇති බවට සාක්ෂි තිබෙනවාද ?
පුද්ගලයාගේ නම පිළිබඳ බොහෝ මිථ්‍යාවන් සමාජය තුළ පවතී. ඒවා සියල්ල විවිධ විද්වතුන් හා විවිධ පුද්ගලයන්, තම තමාගේ ආකල්ප අනුව ගොඩ නැඟූ මතවාද විනා, විද්‍යාත්මක සත්‍යයක් ඒ තුළ නොමැත.
අනෙක් අතට සිදත් සඟරාවේ පෙන්වා දෙන කරුණු ගැන, දෙවිගනි කිවිමිණි මාලාවේ කතුවරයාට හෝ පිළිගැනීමක් නැත. ඔහු වෙනස්ම අක්ෂර ප්‍රභේද පෙන්වා දෙයි. මේ අක්ෂර ප්‍රභේදයන්ගෙන් අප තෝරා ගත යුත්තේ කුමන අක්ෂර ප්‍රභේදයද ? මේවා හුදෙක් එකිනෙකාගේ හිතළු පමණක් නොවේද ?
මිනිසුන් සතර අපායේ වැටෙන්නේ, නමේ ඇති අක්ෂර නිසා නොව, මිනිසුන් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, හිතන, කියන, කරන දේ හෙවත් සංඛාර (අපුණ්‍යාභිසංඛාර) නිසා ය.
මිනිසුන් දෙව් ලොව යන්නේ, නමේ ඇති අක්ෂර නිසා නොව, මිනිසුන් අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන්, හිතන, කියන, කරන දේ හෙවත් සංඛාර (පුණ්‍යාභිසංඛාර) නිසා ය.
මිනිසුන්ට සැපත හෝ අපල උපද්‍රව උදා වන්නේ, ඒ ඒ පුද්ගලයන්ගේ කර්ම විපාක අනුව ය. ජ්‍යෝතීර්වේදය යනු සාවද්‍යවූවක් නොවේ. එය කිසියම් ලෞකික විද්‍යාවකි. ජන්ම පත්‍රය තුළින් හෙළිවන්නේ, පුද්ගලයාගේ පෙර භවයේ ගොඩ නගන ලද කර්ම ශක්තියයි. ඒ බව ජ්‍යෝතීර්වේදීන් පවා  පිළිගනියි. එසේ නම්, කෙනෙකුට නම තැබීමෙන් පසු ඒ පුද්ගලයාගේ එම කර්ම ශක්තිය වෙනස් වනවාද ? එසේ විය හැකිද ? 
කුමන නමක් තැබුවද එමගින් දරුවාගේ දෛවය වෙනස් කළ නොහැකි ය. කුමන නමක් තැබුවද ඔහුගේ හෝ ඇයගේ ජීවන ගමන ඒ නාමය අනුව තීරණය නොවේ. නාමයකින් දරුවාට ලබාදිය හැක්කේ නිරන්තර ආශිර්වාදයකි. යහපත් සංඥාවකි. යහපත් අර්ථයක් ඇති නාමයක් තැබුවහොත්, එය ඔහුගේ හෝ ඇයගේ දිවියට ආලෝකයක් විය හැකිය. අර්ථවත් නාමයක් තුළින් දරුවාගේ මනසට ලබාදෙන අදහස, දරුවාගේ ජීවිතයට යහපත් මග පෙන්වීමක් එක් කළ හැකි ය. 
දරුවාගේ අනාගතය සැපදායක කරලීමට නම්, දරුවාට අපල උපද්‍රව පැමිණෙනවාට බිය නම්, දරුවා සතර අපායෙන් මුදවීමට නම්, දරුවා සුගතියට පත් කරවීමට නම්, දෙමව්පියන් කළ යුත්තේ, දරුවාගේ නමට අපාය අක්ෂර ඇතුළත් කිරීමෙන් වැළකීම නොව, දරුවාට කුඩා කල සිටම, පවින් වළක්වා ධර්මයට සමීප කරවීම ය.
සම්ප්‍රදාය යනු අන්ධ විශ්වාසයෙන් පිළිපැදිය යුත්තක්ද ? ප්‍රඥාවෙන් කෙළ පැමිණි රහත් මුණිවරණයන් පහළ වූ හෙළ ජාතිය තුළට, ඉන්දියාණු බමුණු සම්ප්‍රදායේ පැවැති අහංකාර පුහු මිථ්‍යා සංස්කෘත මතවාද ගෙනැවිත්, අහසින් වැඩි රහතුන් සත් දිග වැඩහුන් මේ උතුම් දම්දිව විනාශ කළෝ කවරහුද ? මිනිසුන් තුළ අවිචාරයේ හා අවිද්‍යාවේ අඳුර මෙතරම් ව්‍යාප්ත කළෝ කවරහුද ?
කෙස් ගහ පවා සටනට ගෙන සැරසෙව් යැයි පැවසූ එස් මහින්ද හිමියන්ගේ හඬට කන්දී, සටනට සැරසී වැනසීයාමට දත කන බෞද්ධයෝ, අක්‍රෝධයෙන් සැනසීමට මග පෙන්වා දුන් උතුම් බුදු හිමියන්ගේ හඬට කන් නොදෙන්නේ මන්ද ?
තමා හිතනා, කියනා, කරනා දේ අනුව ප්‍රතිඵල ලැබෙන බව පෙන්වා දෙන, දස අකුසලයේ නිරත වුවහොත් අපායේ වැටෙන බව පෙන්වා දෙන උතුම් බුද්ධ භාෂිතය ගරු නොකරන බෞද්ධයෝ, දේවපතිරාජ පරිවෙණාධිපති හිමියන් විසින් පෙන්වාදෙන අපාය අක්ෂරයන්ට බිය වන්නේ මන්ද ? වරද ඇත්තේ කොතැනද ?
නාමකර්තෘ
ඉෂ්ඨාර්ථ බිළිඳු නාම

ඔබේ සිතැඟි පරිදි සේවාව ලබා ගැනීම සඳහා ……

දරුවෙකුට නම් තැබීම යනු අතීතයේ නම් උත්කර්ෂවත් මංගල්‍යයකි. අලුත් උපන් ළදරුවාට, සතර පාර්ශවයේ ඥාතීන් ඉදිරියේ, සියලු දෙනාගේ ආශිර්වාද මධ්‍යයේ නම් තැබීම, එකල උසස් චාරිත්‍රයක් ලෙස පැවතිණ.

නාමයක් යනු දරුවෙකුට ජීවිතයේ එක් වරක් පමණක් ලබාදිය හැකි වටිනා දායාදයකි. නාමයක් යනු ජීවිතයේ අතිශය වැදගත් අංගයකි. පුද්ගලයෙකුගේ පෞරුෂය විදහාපාන ප්‍රධාන සංලක්ෂණයක් වන්නේ පුද්ගලයාගේ නාමයයි. ඇතැමෙක් තමාට දෙමව්පියන් විසින් තබන ලද නාමය නුසුදුසු බව, යල් පිනූ එකක් බව පසුකලෙක හැඟී ගියහොත්, ප්‍රසිද්ධියේ තම නාමය වෙනස් කර ගැනීමට පවා පෙළඹෙති. ඕනෑම පුද්ගලයෙකුගේ අනන්‍යතාව ඔහුගේ හෝ ඇයගේ නාමය තුළින් විද්‍යාමන වේ. එම නිසා නාමය යනු පුද්ගලයායි. පුද්ගලයා යනු නාමයයි. පුද්ගලයා නොමැති කලෙක වුවද නාමය පවතී. රූපය දිරයි. නාමය නොදිරයි. උපන් ළදරුවා පුද්ගලත්වයෙන් හැඳින්වෙන්නේ නාමයක් තැබීමෙන් පසු ය. එබැවින් නාමය යනු දරුවෙකු සම්බන්ධයෙන් අතිශය වැදගත් අංගයකි. නම් තැබීම යනු අතිශය වැදගත් සන්ධිස්ථානයකි.
වර්තමාන කාර්යබහුල ජීවිත ගත කරන ඇතැමෙක්ට, තමාගේ දරුවාගේ නාමය වෙනුවෙන් නිසි අවධානයක් හෝ කාලයක් වෙන් කිරීමට නොහැකි වීමට ඉඩ ඇත. එහෙත් දරුවාගේ නාමය සැකසීම සඳහා නිසි ප්‍රමාණවත් අවධානයක් යොමු කළ හැකි නම් වඩාත් වටී.
එක් එක් මව්පියන්ගේ රුචිකත්වයන් විවිධ ය. කෙනෙකු කැමැති ආකාරයේ නමකට තවත් අයෙකු අකැමැති විය හැකි ය. කෙනෙකු තමාගේ දරුවාට පැරණි තාලයේ නාමයක් බලාපොරොත්තු වන විට, තව අයෙකු බටහිර උරුවට ඇසෙන නව තාලයේ නාමයක් අපේක්ෂා කරනවා විය හැකි ය. (එක් දිනක් අපගෙන් සේවාව ලබාගත් මහත්මයෙකු තමාගේ දියණිය සඳහා නාමයක් ඉල්ලන විට පවසා සිටියේ, අපට නෙතුකි වගේ සරල නමක් නම් එපා යන්නයි. එදිනම සේවාව ලබාගත් තවත් මහත්මයෙකු අප සමඟ පැවසුවේ, අපට ඕන නෙතුකි වගේ සරල නමක් යන්නයි). එබැවින් එක් එක් මව්පියන්ගේ පුද්ගලික සිතැඟි අභිලාෂය තේරුම් නොගෙන නාමයන් සැකසීම, ඵල විරහිත බව අපි අත්දැකීමෙන් දනිමු.  නාමකරණය යනු නාමයන් සැකසීමයි.  එය දැනටමත් සාදා ඇති භාණ්ඩයක් කඩෙන් මිළ දී ගැනීම වැන්නක් නොවිය යුතු ය.  එය දරුවාටම අනන්‍ය විය යුතු ය. එබැවින් එය අලුතින් නිර්මාණය කරන්නක් විය යුතු ය.  භාෂා ඥානය හා නිරුක්ති ඥානය යන දෙඅංශයේම එකතුවෙන්, පෙර නොවූ විරූ නාමයන් නිර්මාණය කළ හැකි ය.
අපගේ වෑයම, ඔබට වඩාත් තෘප්තිමත් සේවාවක් ලබා දීමයි. අපගේ අරමුණ ඔබේ දරුවාටම ආවේණික,  අද කාලයට ඔබින, අලංකාර අරුත්බර නාමයක් සකසා දීමයි.
ඒ සඳහා වැඩි වෙහෙසක් දැරීමට අප සූදානම්.
අප වෙතින් සේවාව ලබා ගැනීමේදී, ඔබට වඩාත් සාධාරණ හා ඵලදායක සේවාවක් සැපයීමට නම් පහත අවශ්‍යතා සම්පූර්ණ විය යුතු බව ඉතා කාරුණිකව ඔබට මතක් කරමු.
  1. නාම පත්‍රය සැකසීම සඳහා ප්‍රමාණවත් කාලයක්  ලබා දීම. (නාම පත්‍රය සැකසීම කිසියම් නිර්මාණාත්මක කාර්යයක් බැවින් ඊට සරිලන ප්‍රමාණවත් කාලයක් තිබිය යුතු ය. වැඩි කාලයක් ලබාදීමෙන් වඩාත් හොඳ සේවාවක් ලබාදිය හැකි බව අපි අත්දැකීමෙන් දනිමු.)
  2. ඔබට අවශ්‍ය නාමය පිළිබඳ ප්‍රමාණවත් පැහැදිලි කිරිමක් අප වෙත ලබා දීම. (එහිදී ඔබ කැමැති යම් ආදර්ශ නාමයක් (model name) ක් – ඔබට ඇසුණු ඔබේ සිත බැඳගත් නාමයක් / මෙවැනි නාමයක් හෝ මීට ආසන්න නාමයක් යනුවෙන් පෙන්වා දිය හැකි නිදසුන් නාමයක් ඇත්නම් එය අප වෙත දන්වීම, ඔබේ රුචිකත්වය වටහා ගැනීමට අපට ඉවහල් වේ.
  3. පළමු සහ දෙවන නාමයන් ආරම්භ විය යුතු යම් නිශ්චිත අක්ෂර ඇත්නම් ඒවාද, ඒ ඒ නාමයන්ට ඇතුළත් විය යුතු යම් අක්ෂර ගණනක් ඇත්නම් ඒ ගැනද පැහැදිලිව අප වෙත දැනුම් දීම.
  4. ඔබට වැඩිමල් දරුවන් සිටීනම්, ඔබට අවශ්‍ය ඔවුන්ගේ නාමයන් හා සැස‍ඳ‍ෙන නව තාලයේ නාමයක් නම් ඒ බව අපට පැහැදිලිව දැනුම් දීම.
  5. අවශ්‍ය වුවහොත් නාම පත්‍රය සැකසීමට පෙර වැඩිදුරටත් ඒ පිළිබඳ සාකාච්ඡා කිරීම.
අප වෙත අැමතුමක් ලබා දීමෙන් අපගේ සේවාවන් පිළිබඳ ඔබට දැනුවත් විය හැක. නැතහොත්, srilankababynames@gmail.com ඊමේල් ලිපිනයට, ඔබගේ නම, දරුවා උපන් රට කුමක්ද යන්න සඳහන් ඊමේල් පණිවිඩයක් යොමු කිරීමෙන්, අපගේ සේවාවන් පිළිබඳ විමසිය හැක. 
නාමකර්තෘ
ඉෂ්ඨාර්ථ බිළිඳු නාම

ඔබේ දරුවාටම අනන්‍ය දුර්ලභ නාමයක් ලබා ගත හැකි මග ……

දරුවන්ට නම් තැබීම පිළිබඳ දිනපතා අප වෙත විවිධාකාර ඉල්ලීම් ලැබෙයි. නම් තැබීම පිළිබඳ විවිධ දෙනා විවිධ අදහස් දරති. කෙසේ වුවද සෑම අයෙක්ම පොදුවේ එකඟවන එක් කරුණක් ඇත. එනම්, තමාගේ දරුවාටම පමණක් ආවේණික අලංකාර හා අරුත්බර නාමයක් පැවතිය යුතුය යන්නයි.
ඇතැමෙක්ට, තමාගේ දරුවාගේ නාමය කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නොපවතී. ඒ නිසාම තමාට අවශ්‍ය ආකාරයේ නාමයක් සකසා ගත නොහැකිව ලතැවෙන්නටද, නිකරුණේ මුදල් වැය කර ගන්නටද, ඔවුනට සිදු වේ. එහෙත් ඇතැමෙක්, තමාගේ දරුවාගේ නාමය මෙසේ සකස් විය යුතු යැයි නිශ්චිත වශයෙන් දැක්වීමට සමත් වෙති. එවන් මව්පියන්ට ඔවුන්ගේ අවශ්‍යතාව ප්‍රකාරව, ඔවුන්ට ඉහළින්ම තෘප්තියට පත් විය හැකි ආකාරයේ සාර්ථක නාමයන් සකසා දීමට හැකි වූ බව,  ගෙවුණු කාලය තුළ අප අත් දැක ඇති සත්‍යයයි. 
දරුවාට නම් තැබීම පිළිබඳ සියලු මව්පියෝ එකම අදහසක් නොදරති. කෙනෙක් සිංහල සම්ප්‍රදායට නැඹුරු, සාහිත්‍යාත්මක, සෞන්දර්යාත්මක නාමයක් ඉල්ලා සිටින විට, තවත් කෙනෙක් ඉල්ලා සිටින්නේ, සරලව උච්චාරණය කළ හැකි,  කෙටි, ඉංග්‍රීසියට නැඹුරු නාමයකි.  එසේම එක් එක් මව්පියන්ගේ දැන උගත්කම් අනුවද, සමාජ තරාතිරම අනුවද, ඔවුනොවුන්ගේ පුද්ගලික රුචි අරුචිකම් අනුවද, වෘත්තීන් අනුවද, ඔවුනොවුන් ඉල්ලා සිටින නාමයන්ගේ පැහැදිලි විවිධත්වයක්, පරස්පරතාවක් දැකිය හැක. එබැවින් දරුවන්ට නම් තැබීමේදී, සියලු දෙනා උදෙසා එකම ආකාරයේ රටාවක් අනුගමනය කිරීම ඵලදායක නොවේ. සාධාරණ නොවේ.
ඇත්තෙන්ම දරුවෙකුට නාමයක් සැකසිය යුත්තේ බොහෝ සාධක සැලකිල්ලට ගෙන ය. අතීතයේදී දරුවෙකුට නම් තැබීම යනු, සතර වරිගයේ ඥාතින් කැඳවා මහත් උත්සවාකාරයෙන් සිදු කළ චාරිත්‍රයකි. මහ බෝසත් කුමරුට නම් තැබීමේ උළෙල ඊට කදිම නිදසුනකි.
වර්තමානය වන විට, දරුවාට නම් තැබීමේ කටයුත්ත පිළිබඳ එතරම් ඉහළ වටිනාකමක් හිමි වී නැතද,  බොහෝ දෙමව්පියන් තවමත් දරුවාට අර්ථවත් නාමයක් තැබීම පිළිබඳ වෙහෙසෙති. එය වුවද සතුටට කරුණකි.  නිකම්ම නිකම් ශබ්දයට පමණක් වහල් වූ “නම් කෑල්ලක්” තබනවා වෙනුවට, කිසියම් යහපත් අර්ථයක් සහිත නාමයක් දරුවාට හිමි කර දීම තුළින්, කුඩා කල සිටම ඔහු හෝ ඇය තුළ යහපත් අදහසක් වර්ධනය කළ හැකි වෙයි.  සාර්ථක නාමයක් පුද්ගලයාව නියාමනය කිරීමට සමත් වෙයි. ඇතැම් සුරතල් සතුන්ටද විවිධාකාර නාමයන්ගෙන් අමතයි. නමුත් එම සතුන්ට එම නාමයේ අර්ථය සංජානනය නොවෙයි. උන්ට එය හුදෙක් හඳුනාගැනීමේ ශබ්ද මාත්‍රයක් පමණි. නමුත් මිනිසුන්ගේ නාමයන් එසේ යුතු නැත. ශබ්දය ඉක්මවා ගිය අර්ථයක් සංජානනය කර ගැනීමට මිනිසාට හැකි ය.
කෙසේ වුවද, දරුවාගේ නාමය පිළිබඳ ඒ ඒ මව්පියන් දරන්නේ කුමන මතයක්දැයි යන්න විමසීම, අපගේ සේවාව වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් ඔබ වෙත සැපයීම උදෙසා අප ගන්නා වෑයමකි. අප ඔබගෙන් අය කර ගන්නා මුදලට සරිලන ඉහළම සේවාවක් ඔබ වෙත සැපයීම, වඩාත් සාර්ථක නාම පත්‍රයක් ඔබ වෙත සැපයීම, අපගේ අභිප්‍රායයි.
ඒ උදෙසා, දරුවාට නාමයක් සොයමින් අප වෙත පැමිණෙන, ඔබ වෙතද පැවරෙන කිසියම් කාර්යයක් ඇත. ඔබ අපගේ සේවාව ලබා ගැනීමෙන් පසු, අප විසින් ඉල්ලා සිටින තොරතුරු නිසි ආකාරයෙන්, නොපමාව අප වෙත සැපයීමට කටයුතු යෙදීම, ඔබගේ අවශ්‍යතාව නිසි ආකාරයෙන් සපුරාදීමට ඉවහල් වන්නකි. තමාගේ දරුවාට අනන්‍ය විශේෂ නාමයක් සකසා ගැනීමට අපේක්ෂා කරන මව්පියන් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීම මැනවි.
එසේ නොමැතිනම්, අපගේ පළපුරුද්දට අනුව, අපගේ නාමකරණ ප්‍රාගුණ්‍යයට අනුව, දරුවාගේ ජන්ම අක්ෂරවලට අනුකූලව, අර්ථවත් නිරුක්ති පිහිටුවමින්, අලුතින් නිර්මාණය කරන්නා වූ නව තාලයේ නාමයන් අතුරින් සුදුසු නාමයක්, ඔබේ දරුවා වෙනුවෙන් තෝරා ගත හැකි නම්, එයද සාර්ථක මගකි.
කෙසේ වුවද තීරණය ඔබ සතු ය. තමාගේ පින් මහිමයෙන් ලද ආදරණීය දරු සිඟිත්තාට කෙබඳු ආකාරයේ නාමයක් තැබිය යුතුදැයි, පැහැදිලි හා නිශ්චිත අදහසක්, ඔබ තුළ ඇති පමණට, ඔබේ සිතුම් හා සසැඳ‍ෙන, සාර්ථක හා පරිපූර්ණ නාමයක් අප වෙතින් ලබා ගත හැකි ය.  අප වෙත ඇමතීමෙන් හෝ, srilankababynames@gmail.com ලිපිනයට, ඊමේල් පණිවුඩයක් යොමු කිරීම මඟින්, අපගේ සේවාවන් පිළිබඳ ඔබට දැනුවත් විය හැකි ය. 
නාමකර්තෘ
ඉෂ්ඨාර්ථ බිළිඳු නාම